අපමණ දුක් වෙහෙස දරා ලොවට සැපත සදනා..
නොවෙනස් පැතුමක් පෙරටුව හද මඩලෙහි රැඳෙනා..
කවුද කියන් වඩිනා මේ පින්වත් මහ මුනිඳා...
මේ අප බෝසත් මුනිඳුය සම්බුදු බව පතනා..
පෙරුම් දම් පුරා සතුටින් තුසිත ලොවේ සිටිනා...
පස්මහ බැලුමන් බලමින් මනුපියසට වඩිනා...
ලුම්බිණි සල් වනයේ දී සල් කුසුමන් පිපෙනා...
වැඩි පින්වත් පුතා කවුද සත් පියවර තබනා...
මේ අප බෝසත් සමිඳුය සම්බුදු බව පතනා...
උතුරා දරු සෙනෙහස එහි බලා සිටින අම්මා...
අල්ලා සල් අත්ත හොදින් හිනැහෙනවා අම්මා...
ඇවිදින බුදු පුතුන් බලා සෙත්පතනා අම්මා...
කවුද කියන් සතුටු පිරුණු මේ බෝසත් අම්මා...
මහමායා බිසොවයි මේ අප මුනිඳුගෙ අම්මා...
දෙව් බඹ පිරිසක් ඇතිදින් අහසේ වැඩ සිටිනා...
සිගිති පුතුට රැකවල් දෙන සුදු සේසත් දරනා...
දකුණත ඔසවා අහසට මිහිරි සරින් කියනා...
කවුරුද මේ සිගිති පුතා සිහනද පතුරුවනා...
මේ අප බෝසත් සමිඳුය සම්බුදු බව පතනා...
ලෝ සත විදිනා දුක දැක හද කම්පා වෙමිනා...
රහල් පුතුද බිම්බාව ද දෙස බලමින් වඩිනා...
සතහට සෙත් සදන සිතින් අබිණික්මන් කරනා...
මේ යොවුන් වීරයා කවුරුද අසෙකු පිටින් වඩිනා..
මේ අප බොසත් සමිදුය සම්බුදු බව පතනා...
ශ්‍රමණ වෙසක් ගෙන වනයේ ඝෝර තපස් රකිනා...
කුසට අහර නො ගෙන නිතින් වෙර විරිය වඩනා..
ඇට පෑදී ගිය සිරැරින් පෙර මගට ම වඩිනා...
මේ විස්මිත මුනිදු කවුද අමා නිවන සොයනා...
මේ අප බෝසත් සමිඳුය සම්බුදු බව පතනා...
වළදා කිරි පිඩුද එදා නදියෙන් ගොඩ වෙමිනා...
බෝසෙවනේ සිසිල මතින් කුස තණ අතුරමිනා..
එළා සගල සිවුර සොදින් ඒ මත වැඩහිදිනා...
කවුරුද මහ සමණිඳු මේ විදුරසුනේ සිටිනා...
මේ අප බෝසත් මුණිඳුය සම්බුදු බව පතනා...
කලුවර විය අහස් කුස ම විදුලි කෙටිලි දිලෙනා...
ඇතෙකු පිට නැගී මරු එයි සේනාව ද රැගෙනා...
වටකොට මේ සමිඳාණන් හිරි හැර වද කරනා...
මහා වීර මුනිඳු කවුද මෙහි නො සැලී සිටිනා...
මේ අප බෝසත් මුණිඳුය සම්බුදු බව පතනා...
බැහැර කරන්නට මුනිඳු ව මරුව මොර දී එන්නේ...
සේනාවන් වටකරගෙන බුදු මග වලකන්නේ...
මුනිදුන් දකුණත තබමින් මිහිකත අමතන්නේ...
මේ එඩිතර මුනිඳු කවුද මිහිකත හඩවන්නේ...
මේ අප බෝසත් මුනිඳුය විදුරසුනේ ඉන්නේ...
වසවත් මරු බියපත් වී පැරද පලා යන්නේ...
දසබිම්බර මාර සෙනග දසඅත විසිරෙන්නේ...
මුනිඳුට ජය අත් වෙනවා දෙවියන් තුටු වන්නේ...
ලොව දිනනා මුනිඳු කවුද ජය පිට ජය වන්නේ...
අප ගේ ගෞතම මුනිඳු ය විදුරසුනේ ඉන්නේ...
දෙව්ලොව දෙවියන් සතුටින් දිවසලු සොලවන්නේ...
මුනිඳු ගෙ ජය ගැන කියමින් දිව මල් වගුරන්නේ...
බෝසෙවනේ සිටි මුනිඳුන් මැදුම් මගේ යන්නේ...
මේ විස්මිත මුනිඳාණන් කවුද කියාපන්නේ..
මේ අප ගෞතම මුනිඳුය බුදු වෙන්ට යි යන්නේ...
පෙරයම ගෙවෙනා විට සිත හොදින් එකග වන්නේ...
සසරේ ගතකළ දිවි මග එකිනෙක සිහි වන්නේ..
ගෙවුනු අතීතය දකිනා නුවණකි මතු වන්නේ...
මහා නුවණැති මුනිඳු කවුද විදුරසුනේ ඉන්නේ...
මේ අප ගෞතම මුනිඳු ය බුදු වෙන්ට යි යන්නේ..
ලෝ සත ඉපදෙන මැරෙනා අයුරුය විමසන්නේ...
කළකම් පළ දෙමින් සතුන් සසර පුරා යන්නේ...
භවයෙන් ගොඩ එන්නට බැරි ලෝ සත දකිමින්නේ...
මහා නුවණැති මුනිඳු කවුද දිවැස් ලබා ගන්නේ...
මේ අප ගෞතම මුනිඳු ය බුදු වෙන්ට යි යන්නේ...
හේතු සකස් වෙන විට ලොව දුක ම යි සැකසෙන්නේ...
ඒ හේතුන් නැති වෙන විට දුක නැති වී යන්නේ...
දුකේ හේතු නසන මුනිඳු දුකින් මිදී ගන්නේ...
මහා නුවණැති මුනිඳු කවුද නිවන යි ලැබ ගන්නේ...
මේ අප ගෞතම මුනිඳු ය බුදු බව ලැබ ගන්නේ..
වෙසගේ සද රැස් දහරින් සිසිලස පතුරමිනා...
බෝ පත් සැලෙමින් මුනිඳුට සෙවනැලි සුව සදනා...
අමා නිවන් සුව විදිමින් සුව සේ වැඩ හිදිනා...
කවුරුද මේ මුනිඳාණන් බුදු රැස් විහිදුවනා...
අප ගෞතම මුනිඳු ය මේ සම්බුදු බව ලබනා..
අප ගෞතම මුනිඳු ය මේ සම්බුදු බව ලබනා...
අප ගෞතම මුනිඳු යි මේ සම්බුදු බව ලබනා.. .
පූජනීය පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ගේ රචනයකි..
Courtesy : mahamevnawa.blogspot.com
more....
Courtesy : mahamevnawa.blogspot.com
more....
No comments:
Post a Comment